බෙනදිකාන තාපසාරාම (ඉලුක්හේන)

“Economy” යන වචනය නික්මෙන්නේ “OIKOS NOMIA” යන ග්‍රීක වචනයෙනි. එහි තේරුම වන්නේ වඩා අර්ථවත් නිවැරදි නීතියේ (Nomia) ගෘහය (Oikos)යන්නය. ශුද්ධ වූ බෙනඩික් තුමාගේ නීතියද සම්පුර්ණ වශයෙන් මෙය පිළිගැනීමකට හා සම්පුර්ණත්වයකට පත් කර ඇත්තේ යම් යම් කොටස් එයට එකතු කරමිනි. එම නිසා එය නිවැරදි යහපත් නීතියේ දෙවියන් වහන්සේගේ ගෘහයයි.
එහි තේරුම වන්නේ ශුද්ධ වූ බෙනඩික් මුනිතුමන්ගේ නීතිය අනුගමනය කරන්නන් ලෙස අප බෙනඩිකාන සංඝය පිටස්තර සමාජය සඳහා ආදර්ශයක් ගෙනදෙන තෝතැන්නක් විය යුතුය. එමනිසා අපගේ එකම අරමුණ විය යුත්තේ දෙවියන් වහන්සේගේ ගෘහයක් මෙන් අපගේ සංඝය නිවැරදිව,ක්‍රමවත්ව පාලනය හා කළමනාකරණය කිරීමයි.
තවදුරටත් අප විමසා බැලිය යුත්තේ කුමක්ද? අප ඉගනගත යුත්තේ මෙම ජිවිත ක්‍රමය වඩා නිවැරදිව අප සංඝය තුළ ජිවත් කරවීම සඳහා අප මේ සඳහා නුතන විද්‍යාවත් අධ්‍යයනය කළ යුතු නැත එනමුත් අපි අත්‍යවශ්‍යයෙන්ම ධාර්මිකව යහපත් ගුණාංගයන් හා ජිවිත වටිනාකම් අප දුබල දුර්වල ජිවිත තුළ රෝපණය කර ගැනීම තුළ අපගේ සංඝයේ සහෝදර දයාව,කරුණාව,අන් අය උදෙසා වැය වීමට කැපවීමට යොදා ගත යුතුය.
එම නිසා අප උදෑසනින් නැගිටීමට පුරුදු පුහුණු විය යුතුයි. එසේම අප අපගේ පෞද්ගලික ආශාවන්ට වඩා සංඝයේ අවශ්‍යතාවයන් හා සංඝයේ සාමාජිකයන් වෙත අපගේ අවධානය යොමුකළ යුතුය. අපි මෙම බෙනඩිකාන සංඝික ජිවිත ක්‍රමය තුළ එදිනෙදා වැඩ කටයුතු වලදී අප ජිවත් වන, සෙවන දෙන ස්ථානයට ආදරය කළ යුතුය.එය පිරිසිදුව අලංකාරවත්ව තබා ගත යුතුය. ගහකොළ සිටුවීම හා ඒවා රැකබලා ගත යුතුය. සතුන්ට ආදරය කළ යුතුය.අසනීප වැඩිමහල් අයවළුන් රැකබලා ගත යුතුය. තරුණ ප්‍රජාව සහ ළමා පරපුර අනාගත සමාජය සඳහා නිවැරදිව ගොඩනැගිය යුතුය. මෙමගින් අප සංඝය දේව රාජ්‍ය මෙලොව ගොඩනැගීමේ තෝතැන්නක් බවට පත් කළ හැකිය. එසේම අප විසින් ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරමින් එය ජිවත්කර වීමට උන්වහන්සේ පැවසු ලෙස අන් අයගෙන් සේවය ලැබීමට වඩා අන් අයට සේවය කිරීමට මෙන්ම අපගේ එදිනෙදා ජිවිතයේ හමුවන නොයෙකුත් ප්‍රශ්ණ,වේදනා නමැති කුරුසියන් සතුටින් දරාගෙන ඒ තුළ සැබෑ ප්‍රීතිය,ආනන්දය දෙවියන් වහන්සේ තුළ අත්දැකීමට අපි හුරුපුරුදු විය යුතුය.
සෑම පැවදි නිකායකම පැවදි දිවියට ඇතුල් වීමට පෙර නවක තාපස පුහුණු කාලයක් ඇත. එම කාලය තුළ නවක තාපසයින් හට කිසිදු අධ්‍යනය කටයුක්තකට අවසර නැත. එනමුත් දේව වචනය, ඒ ඒ පැවදි නිකායේ නීති නියෝග හා අධ්‍යාත්මික පොතපත, ශුද්ධවන්ත චරිත පිළිබඳව අධ්‍යනය සඳහා පමණක් අවසර ඇත. එසේම අපගේ මෙම ආරාමය තුළ ද නවක තාපස කාලය මෙන් දැඩිව අපව ඒ සඳහා යොමුනොකලද අපගේ අධ්‍යාත්මිකත්වය වර්ධනය කරගැනීම සඳහා හොඳ යහ පුරුදු ප්‍රගුණ කරන්නටත් ඒවා අන් අයගේ සේවය සඳහා යොදවන්නටත් හුරුපුරුදු වියයුතුය. එසේම අප අධ්‍යපනිකත්වයද සවිමත් වියයුතුය. නිහතමානීකම තුළින් අප සංඝයේ සියලු සහෝදරයන්ට මෙන්ම අප ආරාමයට අපට හැකි උපරිමයෙන් දායකත්වය ලබා දිය යුතුය. සෑම විටම ඉවසීමෙන් අන් අයව දරා ගනිමින් මේ ජිවිතයේ ගමන් කළ යුතුය. කාලසටහනකට අවනත වෙමින් වෙලාවට වැඩ කටයුතු කිරීමට උනන්දු විය යුතුය. දයාවෙන් හා කරුණාවෙන් අන්අයට සංවේදී විය යුතුය. අප ආරාමයේ අවශ්‍යතා සහ එහි පැවැත්ම සඳහා අපගේ අවධානය නිරතුරු යොමුකළ යුතුය. සැමවිට යහපත් වචන කතා කිරීමට පුරුදු විය යුතුය.
සෑම පැවදි පුජක හවුලකසේම පවුල් ජිවිතයකම වුවද යම් කිසි කාල සටහනක් ඇත. එය අප පැවදි සංඝයටද පොදු දෙයකි. එයට අප අවනත වීම තුළ ගෞරව කළ යුත්තෙමු. සෑම දෙනාම උදෑසනින්ම නැගිට දවසේ පළමු කාර්යය දෙවියන් සමග උදෑසන යාච්ඥාව සහ දිව්‍ය පුජාව සමග ආරම්භ කළ යුතුය. එවිට අපගේ ජිවිතයෙන් අන් අයට දේව ආදරය අත් දැකිය හැකිය. අප අපගේ පළමු කාර්යය අනවශ්‍ය රුපවාහිනි දර්ශන හෝ අනවශ්‍ය දේ සමඟ ආරම්භ කරන්නේ නම් අපගේ ජීවිතය අන් අයට හුදෙක් අයහපත් රූපයක් අප කෙරෙහි නිර්මාණය වන්නට අපගේ හැසිරීම් ඒ හා සම්බන්ධව කටයුතු කරයි. එම නිසා දවස දේව සම්මුඛයේ ආරම්භ කළ යුතුයි.
නුතනයේ යාච්ඥාව හෙවත් දේව සම්බන්ධතාවය වඩා ගැඹුරු අත්දැකීමකට යොමු කිරීම සඳහා නව රූප රාමු, ආලෝකකරණය හා සංගීතය ලබා දි ඇති දායකත්වය අනර්ගය. එය මිනිසාගේ අධ්‍යාත්මිකත්වය වර්ධනය සඳහා ඉමහත් දායකත්වයක් ලබා දෙයි. ලෞකික කරණය වෙමින් පවතින නුතන ලෝකය යහපතට වඩා අයහපත රජකරන පිළිගන්නා අවදියක අප ජිවත් වෙයි. එම නිසා අපට බෙනදිකාන පුහුණුව ලබන්නවුන් වශයෙන් ආදර්ශමත් ජිවිත පැවැත්මක් තුලින් එය වෙනස් කිරීමට වගකීමක් හා යුතුකමක් ඇත. අපගේ යාච්ඥාව හුදෙක් පෞද්ගලික හා ඇතුලාන්ත වුවක් නොව එය පොදු මෙන්ම බාහිර ස්වභාවයකින් යුක්තය. එසේම අප කතෝලික සභා සම්ප්‍රදායන් මත ගොඩ නැගුණු සත්‍ය කිතුනු අනුගාමිකයන්ය. අලංකාර දේවස්ථාන, චිත්‍ර හා මුර්ති කලාව, පුජනිය ඇදුම් ආයිත්තම් හා බඩු බාහිරාදිය, නීති නියෝග, දේව වචනය හා ඒ හා සම්බන්ධ හරවත් දේව ධාර්මික අනුශාසනාවන්, පද්‍ය හා ගද්‍ය සාහිත්‍ය,සංගීතය හා ගීතිකා, දහස් ගණන් ශුද්ධවන්ත ජීවිතයන් ආදී බොහෝමයක් කතෝලික සභා ඉගැන්වීම් හා පිළිගැනීම් මත පදනම් වූ තත් බොහෝමයක් කිතුනු සම්ප්‍රදායන් ඇත. අප තාපස පුහුණු ආරාමය තුලද අපට එම සභා සම්ප්‍රදායන්ට ගරු කරමින් ඒවා පුරුදු පුහුණු කරන්නටත්, ඒවා අනුගමනය කරන්නටත්, ඒවාට ගරු කරන්නටත්,ඒවා වැඩි දියුණු කරන්නටත්,ආරක්ෂා කරන්නටත් වගකීමක් ඇත.ඒවා අපගේ පෞද්ගලික යහපත සහ අභිමානය උදෙසා නොව ආත්ම ගැළවීම උදෙසා උපයෝගී කර ගත යුතුය. එමගින් දෙවි මහෝත්තමයාණන් වහන්සේ අපට උන්වහන්සේගේ කැමැත්ත ලෙස ලබා දුන් මේ උතුම් දේව කැදවීමට, අවංක පිරිසිඳු නිහතමානී සිතකින් කැපවී අසරණ ජනයා හට සේවය කරන්නට අවස්ථාව හිමි වේ.
අප සෑම විටම සිහිතබා ගත යුතුයි, අතීතයේ බොහොමයක් තාපසාරාම මහජනතාවට සේවය සැලසීම සඳහා විවෘතව තබන ලද බව. ඒ කෙසේදයත්,එවක් සමාජය අසංවර්ධිත, අසීලාචාර, අධාර්මික කෘර විය. එහිදී තාපස වරුන්ටද දැඩි පීඩන, වධ හිංසා, අකටයුතුකම් සිදුවිය. නමුත් දේව විශ්වාසය තුළ ඒ සියල්ල සතුටින් දරමින්,ඉවසීමෙන් මිනිසුන්ගේ සුභසිද්ධිය උදෙසා දිවි පරදුවට තබා සේවය කරන ලදී. එහි දි බොහෝ දෙනෙකුට ප්‍රාණපරිත්‍යාගී වීමටද සිදු විය. අතීත විරෝධාර තාපස වරුන් දරුණු ලෙස පිඩා විදිමින් වුවද තම දෑතින්ම මිනිසුන්ගේ ජිවිත දේව ආදරය තුළ වෙනස් කරන්නට අධ්‍යාත්මික පොත පත විශාල වශයෙන් රචනා කරන ලදී.
සංවර්ධන යුගය වුවද එදා තාපසවරුන් මෙන්ම අශිලාචාර,අධාර්මික,අක්‍රමවත් කෘර සමාජයක අපටද ජිවත් වීමට සිදුව ඇත. සාමාන්‍ය ජනතාව, තරුණ ප්‍රජාව මෙන් ළමා පරපුරද අපගේ ක්‍රිස්තියානි වටිනාකම්, සම්ප්‍රදායන් අමතක කරමින් තම අම්මා, තාත්තා මෙන්ම එකුස උපන් තම සහෝදරයාද නොහදුනන තත්වයට පත්ව ඇත. මෙය ඉතාමත් ශෝචනීයය. සැබවින්ම ඔවුන් කරන දෙය ඔවුන්ද නොදනී. දිනෙන් දින ඔවුන් ගමන් කරන්නේ පාපී, අශිලාචාර, අධාර්මික ලෝකයක් කරාය. එමනිසා අප හට පැවිදි පුහුණුව ලබන්න වුන් ලෙස අපගේ ජිවිත එදා අතීත තාපසවරුන් මෙන් එවකට කටයුතු කළ ආකාරය ද අභිබවා යමින් නුතන සංවර්ධිත ලෝකය තුළ අප බෙනදිකාන පැවදියාව තුලින් මෙම සමාජ වාතාවරණය වෙනස් කිරීමට අපගේ පෞද්ගලික වෙනස් වීම තුළ ආරම්භක පියවර ගත යුතුය. අප වටිනා පොත්පත් අන්තර්ගත පුස්තකාල නිර්මාණය කළ යුතුය. ඒවා සඳහා සහය විය යුතුය. සංගීතය මිනිසාගේ ජිවිත වලට ලං කළ යුතුය. අධ්‍යාපන හා අධ්‍යාත්මික මඟ පෙන්වීම් ලබා දිය යුතුය. මනෝ අධ්‍යාපනය තුලින් නුතන තරුණ,ළමා පරපුර ආරක්ෂා කරගත යුතුයි.ඔවුන්ට නිසි මාර්ගයන් පෙන්වා දිය යුතුය,විවර කර දිය යුතුය.
අපගේ පැවදි තාපසාරාමයේ පුහුණුව හා එහි වැඩ පිළිවෙල පහත සඳහන් පරිදිය;

1. පළමුව අප පුහුණුව ලබන, ඉගනුම ලබන සියල්ල හුදෙක් අපගේ දියුණුව හෝ කිර්තිය සඳහා නොව එය අපගේ සංඝයේ පොදු සුභ සිද්දිය හා මහජනතාවගේ සේවය සඳහා විය යුතුය. කාලසටහනට අවනත වෙමින් එයට අනුකුලව මෙම පුහුණුව ලබා ගත යුතුය. තම සහෝදරයාගේ අවශ්‍යතාවයන් සඳහා සංවේදී විය යුතුය. යම් කිසි අධ්‍යයන කටයුත්තක හෝ පුද්ගලික ක්‍රියාවක් අතර තුර සීනුව නාද වන්නේද එයට සංවේදී විය යුතුය. තවද තම සහෝදරයාගේ හදිසි අවශ්‍යතාවයකදී ඒ සඳහාද ඉතා ඕනෑකමින් සංවේදී විය යුතුය.

2. ගැඹුරු යාච්ඥාවකට ඇතුලත් වීම සඳහා අපගේ ජිවිත පහත සඳහන් අධ්‍යාත්මික මග පෙන්වීම් සමග ඒකාබද්ධ විය යුතුය.

 දේව වචනය
 දේව වන්දනාව (පුජනිය පොත්, ඇදුම්, සැරසිලි,භාණ්ඩ, වත්පිළිවෙත් හා එහි ඉතිහාසය.)
 සාන්තුවර ජිවිත කතා
 ලතින් භාෂාව
 සංගීතය හා ගායනය
 චිත්‍ර හා මුර්තිකලාව

3. සෑම විටම දේවස්ථානය,යාච්ඥා ගෘහය හා ආරාමය පිරිසිදුව, පිළිවෙලට, ශුද්ධවන්තව තබා ගැනීමට පුරුදු විය යුතුය.

 පිරිසිදු කිරීම
 අහාර පිසීම
 සතුන් ඇති කිරීම හා රැකබලා ගැනීම
 ගහකොළ සිටුවීම හා ඒවා රැකබලා ගැනීම
 වයසක හා රෝගී වුවන් රැක බලා ගැනීම

4. ජනතාවට සේවය කිරීම හා ඔවුන්ට දේව රාජ්‍ය සඳහා ගමන් කිරීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම සඳහා අධ්‍යාපනිකව මෙන්ම අධ්‍යාත්මිකවද අප ශක්තිමත් විය යුතුය.

 නුතන විද්‍යාවන් ඉගැනීම
 දේව දර්මය හා දර්ශනවාදය හැදෑරීම
 සාහිත්‍ය, බෂාවන්, ඉතිහාසය ඉගැනීම
 පද්‍ය සාහිත්‍ය, නාට්‍ය කලාව, සංගීතය හා චිත්‍ර හා මුර්ති කලාව අධ්‍යයනය කිරීම

5. අප ඉතාලි භාෂාව සම්බන්දයෙන් විශේෂ අවදානයක් යොමු කළ යුතුය. මන්දයත් අපගේ පැවදි නිකායේ ආරම්භය හා පැවැත්ම ඒ මත රඳා පවතී. ඉතාලි භාෂාව මැනවින් හැසිරවීමට ඉගැනීම තුළ අපට කතෝලික සභා සම්ප්‍රදායන් පිළිබඳව ගැඹුරු පැහැදිලි කිරීමක් අත්කර ගත හැකිය.
මෙම පැවදි ජිවිතයේ ගමන් මාර්ගය හා පැවැත්ම අප සියළු දෙනාටම එනම් පැවදි ජිවිතයේ ආරම්භක පිහුණු අවදීන් වල සිටින පැවදි තාපස සිසුන් වන අප මෙය ඉතාමත් ඕනෑකමින් ආදරයෙන් අවධානයට ගත යුතුය.ශ්‍රේෂ්ඨාධිපති පියතුමන්,අධ්‍යාත්මික පියවරුන්ගේ මග පෙන්වීම තුළ ඉහත සඳහන් කළ කරුණු අප පැවදි සංඝය හා අපගේ යහපැවැත්ම උදෙසා අනුගමනය කිරීමට උත්සුක විය යුතුය.
තවද අපගේ පැවදි සංඝය තුලින් පවුල් ජිවිත සඳහාත් තරුණ පරපුර උදෙසාත් ආදර්ශමත් මෙන්ම එවා ගොඩ නැගීම සඳහා උපකාරීවන ස්ථාන විය යුතුය. අප තරුණ ප්‍රජාව උදෙසා විශේෂ අවදානයක් යොමුකරමින් ඔවුන් සඳහා වැඩ සටහන් සංවිධානය කළ යුතුය. තවද තරුණයන් හා තරුණියන් අප හා බෙනදිකාන කන්‍යා සොහොයුරියන් යටතේ විශේෂ පුහුණු කිරීමකට භාජනය කළ යුතුය. එමගින් ඔවුන් අප සමග ජිවත් වීම තුලින් යම් කිසි ජිවිත පරිවර්තනයකට පත්වීමට පුළුවන ඔවුන් අප සමග සිටීමෙන් පහත සඳහන් යහ පුරුදු අප සමගම ඔවුන්ද ඉගනීමට උත්සුක විය හැකිය.

1. උදෑසනින් අවදිවීම

2. දවස දෙවියන් සමග යාච්ඥාව තුළ ආරම්භ කිරීම

3. දයාන්විතව, ඉවසීමෙන් එකිනෙකාට උදව් වෙමින් එකමුතුව උදෑසන රජකාරින්වල නිරත වීම.

4. කරුණාන්විතව, ගෞරවාන්විතව, සමාව දීමෙන් කටයුතු කිරීම. එමගින් අයහපත් අශිලචාරී ක්‍රියාවන් පිටුදැකීම

5. අහාර ගන්නා අවස්ථාවල එකමුතුව එක් වී සැමදෙනාම සතුටින් තම අද්දැකීම් බෙදා ගනිමින් අහාර අනුභව කළ යුතුය. දුරකථන භාවිතා කිරීම හා අනෙකුත් සියලුම වැඩ කටයුතු වලින් එම අවස්ථාවන් හිදී නියැලීමෙන් වැලකී සිටිය යුතුය.

6. මධ්‍යහාන කාලයේදී යම් කිසි ඵලභරිත ක්‍රියාවක නියැලිය යුතුය. සංගීතය ගායනය පුරුදු පුහුණු වීම, සභා ලියවිලි පරිශීලනය, ගද්‍ය හා පද්‍ය රචන හැකියාව දියුණු කර ගැනීම, විද්‍යුත් උපරණ භාවිතයෙන් යම් කිසි වටිනා අධ්‍යයනයක නියැලීම.

7. රාත්‍රී යාච්ඥාව තුළ හෘද පරික්ෂාව කළ යුතුය.රාත්‍රී යාච්ඥාවට පෙර යම්කිසි කාල සීමාවක රූපවාහිනිය අර්ථවත් දෙයක් නැරඹීම සඳහා වැය කළ යුතුය. රාත්‍රී යාච්ඥාවෙන් අනරුතුරුව සෑම දෙනාම දිනයේ වැඩ කටයුතු නිම කර නිදා ගත යුතුය.

8. සෑම සියළු දෙනාම මෙම ජිවිත ක්‍රමය අගය කරමින් අනුගමනය කළ යුතුය. එකිනෙකාට උදව් වෙමින්, ආරාමයේ වැඩ කටයුතු වලට සංවේදී වෙමින් ජිවත් විය යුතුය.මෙසේ අපගේ ජිවිත ක්‍රමය තුළ අප “බෙනදිකාන තාරුණ්‍ය” ලෙස නම් කරයි.